2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

හම්බ කළ ඩොලර් රුපියල් නොකිරීම අර්බුදයක් - මුදල් රාජ්‍ය ඇමැති

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 48

I සංජීවිකා සමරතුංග

මෙරටින් භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන් ගතවූ වසර එකහමාර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2000ක මුදලක් ආදායම් ලෙස ලබා ඇති නමුත් ඒවා රුපියල් බවට පරිවර්තනය නොකිරීම පවතින ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වයට දැඩි ලෙස බලපා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.

රජය විසින් කරන ලද විමර්ශනයකදී එම ආදායම් ඩොලර්වලින් අදාළ අපනයනකරුවන්ගේ ගිණුම්වලට ලැබී ඇති බව තහවුරු වී තිබේ. එහෙත් එම ඩොලර් රුපියල් බවට පත් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මේවා සම්බන්ධව වගකිවයුතු ආණ්ඩුවේ මූල්‍ය අංශ බලධරයන්ද මේ ගැන නිහඬව සිටීම විමතියට කරුණක් බව අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලාංකික අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා රජය දැවැන්ත බදු සහන පිරිනමා තිබේ. ලාභය මත නැවත අයකරන 28%ක බද්දෙන් අපනයනකරුවන්ගෙන් අය කරන්නේ හරි අඩක් හෙවත් 14%කි. එබඳු සහන ලබා තිබියදීත් රටට ලැබිය යුතු මුදල් නිසි ලෙස සම්පාදනය නොකිරීම ගැන කිසියම් දැඩි පියවරක් අනාගතයේ ගැනීමට සිදුවිය හැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.